"දැක්ම"

විශිෂ්ට සේවාවක්


"‌‌‍මෙහෙවර"

ප්‍රජා සහභාගිත්වය සහිත කාර්යක්ෂම, ස්ථාවර හා හොඳින් සැලසුම්ගත සංවර්ධන ක්‍රියාවලියක් තුළින් මහජන ජීවිතය වර්ධනය කිරීම.

"හැඳින්වීම"

 

උතුරු මැද පළාතේ පොළොන්නරුව දිස්ත්‍රීක්කයට අයත් මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හෙක්ටයාර් 57404ක පමණ භූමි ප්‍රදේශයක් පුරා පැතිර ඇති අතර පරිපාලනමය වශයෙන් ග්‍රාම නිලධාරී වසමි 45 කට බෙදා ඇත.

පොළොන්නරුව වෙනම පරිපාලන දිස්ත්‍රීක්කයක් බවට පත් වූයේ 1953 දී ය. ඒ අනුව මැදිරිගිරිය ප්‍රදේශය බටහිර සිංහල පත්තුව ආදායමි පරිපාලන නිලධාරී කොටිඨාසයට අයත්වූ අතර කොටිඨාසය 68 - රත්මලේ හා 69 - කැලෑගම වශයෙන් ගමි මුලාදෑනි තුලාන් දෙකකට බෙදා තිබිණ. මීගස්වැව, වඩිගවැව ආදි ගම්මාන 69 - කැලෑගම ගමි මුලාදෑනි තුලානට ද දිවුලන්කඩවල, රත්මලේ ආදි ගම්මාන, 68 - රත්මලේ ගමි මුලාදෑනි තුලානට ද අයත් විය. වනාන්තරය තුල හුදෙකලා වූ මෙම ගම්මාන කිහිපය හැර අනෙකුත් ප්‍රදේශ වියළි කළාපයට ආවේනික ඝණ වනාන්තරයෙන් වැසී ගත් ප්‍රදේශයක් වශයෙන් පැවත ඇත. මැඩිලිගිරිය, මණ්ඩලගිරික, රන්තිසා වැව පෙදෙස, තිස්සවඩිඩමානක පෙදෙස යනාදී නමි වලින්ද අතීතයේ දී මැදිරිගිරිය හදුන්වා තිබේ. මැදිරිගිරිය ජන අවධානයට ලක් වීමට බලපෑ ප්‍රධාන හේතුවක් වූයේ ‍ ඵෛතිහාසික මැදිරිගිරිය වටදාගෙය හා සංඝාරාම පිහිටා තිබීමත් කවුඩුල්ල වැව පිහිටා තිබීමත් නිසාය.

ගොවි ජනපද ව්‍යාපාරය යටතේ 1958 දී කවුඩුළුවැව ප්‍රතිසංස්කරණය කොට ඉඩමි ලබා දීමත් සමග මෙම ප්‍රදේශයට අයත් අනෙකුත් ගමිමාන ජනාවාස වී තිබෙ. ගොවි ජන පද ව්‍යාපාරය යටතේ බෙදා දුන් ඉඩම්වලින් බහුතරයක හිමිකරුවන් වූයේ කොත්මලේ ප්‍රදේශයේ ජනතාවයි. ඊට අමතරව දිවයිනේ විවිධ පළාත්වලින් පැමිණි ඉඩම් නොමැති අයත් මෙම ප්‍රදේශයේ පදිංචි වූහ. මේ නිසා ලංකාවේ සෑම ප්‍රදේශයක්ම පාහේ නියෝජනය වන උප සංස්කෘතීන් ගණනාවක ලක්ෂණ වලින් යුත් සංස්කෘතියක් මෙම ප්‍රදේශයේ ගොඩ නැගී ඇති බව පෙනේ.

1970 දශකයේදී ද මැදිරිගිරිය වෙනමම පරිපාලන ඒකකයක් නොවූ අතර ගමි මුලාදෑනි තුලාන් තව දුරටත් විකාශය වීම සිදු විය. එනමි 68 - රත්මලේ කොටස 68 ඒ දිවුලන්කඩවල තුලාන, 68 බී මැදිරිගිරිය තුලාන , 68 සී කවුඩුලුවැව තුලාන , 68 ඩී අඹගස්වැව තුලාන වශයෙන් බෙදන ලදී. 69 - කැලෑගම කොටස තලාකොළවැව තුලාන, මීගස්වැව තුලාන, විජයපුර තුලාන, දියසෙන්පුර තුලාන, වශයෙන් කුඩා කොටිඨාස වලට බෙදා වෙන් කරන ලදී.

           මැදිරිගිරිය වෙනමම පරිපාලන ඒකකයක් බවට පත් වූයේ 1983 දී ය. පරිපාලනයේ පහසුව තකා පොළොන්නරුව දිස්ත්‍රීක්කය ප්‍රාදේශීය උප දිසාපති කොට්ඨාශ 05 කට බෙදා තිබූ අතර මැදිරිගිරිය ප්‍රාදේශීය උප දිසාපති කොට්ඨාසය ඒ අනුව බිහි විය. ප්‍රාදේශීය උප දිසාපති කොටිඨාස පසුව ප්‍රාදේශීය ලේකමි කොට්ඨාස නමින් හැදින්විය.ගමි මුලාදෑනි තුලාන් ග්‍රාම නිලධාරී කොටිඨාස බවට පත් වූ අතර 1990 දී රජයේ ගැසට් නිවේදනයක් මගින් මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකමි කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් නැවත සංශෝධනය කරන ලදී. මෙහිදී රත්මලේ ප්‍රදේශය මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකමි කොටිඨාසයෙන් ඉවත් වී හිගුරක්ගොඩ ප්‍රාදේශීය ලේකමි කොටිඨාසයට අයත් විය. හිගුරක්ගොඩ ප්‍රාදේශීය ලේකමි කොටිඨාසයට අයත් වූ වෙහෙරගල හා සන්සුන්ගම ද තමන්කඩුව ප්‍රාදේශීය ලේකමි කොටිඨාසයට අයත් වූ පල්ලියගොඩැල්ල ප්‍රදේශය ද මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොටිඨාසයට අයත් විය. වර්තමානය වන විටත් දක්නට ඇත්තේ 1990 දී දැක්වූ සීමාවන් හා ග්‍රාම නිලධාරී වසම් ය.

පල්ලියගොඩැල්ල හා අක්බාර්පුර යන ග්‍රාම නිලධාරී වසම් දෙකේ මුස්ලිම් ජාතීන් ජීවත්වන අතර අනෙකුත් සියළුම ග්‍රාම නිලධාරී වසම්වල ජීවත් වන්නේ සිංහල ජනවර්ගයයි. මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ මේ වන විට 78654 කට ආසන්න ජනසංඛ්‍යාවක් වාසය කරන අතර ජන ඝනත්වය වර්ග කිලෝමීටරයකට පුද්ගලයින් 137ක් පමණ වේ. මුළු පවුල් සංඛ්‍යාව 21737කි. ජාතීන් අනුව සලකා බලනවිට සිංහල හා මුස්ලීම් යන ජාතීන් ප්‍රධාන වශයෙන් ජීවත් වන අතර ඔවුන් බෞද්ධ, ඉස්ලාම්, රෝමානු කතෝලික හා වෙනත් ක්‍රිස්තියානි ආගම් අදහයි. දිස්ත්‍රික්කය තුළ පාසල් 33ක් පිහිටා ඇති අතර සිසුන් 15044ක් පමණ අධ්‍යාපනය හදාරමින් සිටී. මේ සඳහා සිටින මුළු ගුරුවරුන් සංඛ්‍යාව 761ක් පමණ වේ. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ මූලික රෝහල් එකක් සහ මධ්‍යම බෙහෙත් ශාලා 3 ක් පිහිටා ඇත. ඊට අමතරව රජයේ ආයුර්වේද බෙහෙත් ශාලා 3ක් ද පිහිටා ඇත.

මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රධාන කෘෂිකාර්මික බෝගය වී වන අතර වී ගොව්තැන සඳහා මින්නේරිය, කවුඩුල්ල යන මහා වාරි මාර්ග මගින් ද මධ්‍ය හා සුළු වාරි මාර්ග මගින් ද දියවර ලබාදීම සිදුකරනු ලබයි. මෙයට අමතරව වර්ෂා ජලයෙන් ද හෙක්ටයාර් 787 කට ආසන්න බිමි ප්‍රමාණයක වී වගා කෙරේ. වී වගා කෙරෙන්නේ යල සහ මහ වශයෙන් ප්‍රධාන කන්න දෙකක් යටතේ ය. මහවැලි ගඟ දෙපස හා ඒ ආසන්නයේ කෙත් ඇලවලින් පහත්වන ජලයෙන් යල මහ අතර මැද කන්නයක ද සුළු වශයෙන් වී වගා කෙරේ.

තවද වියළි කලාපයට ආවේණික අඹ, කෙසෙල්, දිවුල්, දොඩමි, පැපොල්, කජු වැනි පළතුරු වර්ගද , බණ්ඩක්කා, වමිබටු, තක්කාලි, කරවිල, පිපිඤ්ඤා, වටිටක්කා, රාබු, අලුකෙසෙල්, මාළු මිරිස් වැනි එළවළු වර්ග හා බඩ ඉරිගු, මුං, කවුපි, කුරක්කන්, තල, රටකජු, මඤ්ඤොක්කා, බතල, රතු ලූණු, බොමිබයි ලූණු, මිරිස් වැනි අතිරේක ආහාර භෝග වගාවන් ද ජලපෝෂිත ප්‍රදේශවල පොල්, ගම්මිරිස්, බුලත්, පුවක්, වගාවන් ද දක්නට ලැබේ. මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රධාන වශයෙන් කුකුලන්, ගවයන් හා එළුවන් ආශ්‍රිත සත්ව පාලන කටයුතු සිදු කරනු ලැබේ. මෙම කෘෂිකාර්මික කටයුතු සදහා පහසුකමි සැපයීම පිණිස පශු වෛද්‍ය කාර්යාලයක්, කෘෂි කර්ම කාර්යාලයක් ගොවිජන සේවා කාර්යාලයක් හා මහවැලි ඩී කලාප කාර්යාලයක් ද පිහිටා ඇත.

ප්‍රදේශයේ මහාමාර්ග හා ප්‍රවාහන පහසුකම් මේ වන විටත් සැලකිය යුතු මට්ටමින් දියුණු වී පවතී. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ උප ඩිපෝවක් දියසෙන්පුර නගරයේ පිහිටා ඇති අතර ප්‍රවාහන පහසුකම් සදහා වැඩි දායකත්වයක් සපයනු ලබන්නේ පෞද්ගලික අංශයෙනි. මූල්‍ය පහසුකමි සපයා ගැනීම පිණිස මහජන බැංකුව, ලංකා බැංකුව, හා රජරට සංවර්ධන බැංකුව සමෘද්ධි බැංකු සංගමය වැනි රාජ්‍ය බැංකුවල ශාඛාවන් ද වැනි බැංකු ද සණස බැංකුව, සමූපකාර ග්‍රාමීය බැංකුව, සර්වෝදය බැංකු ශාඛා වැනි සාමාජයීය මූල්‍ය බැංකු ද පෞද්ගලික අංශයේ හැටන් නැෂනල් බැංකුව ද ක්‍රියාත්මකය.

මැදිරිගිරිය කොට්ඨාසය මහවැලි ඩී කලාපයට අයත්ය. ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් මොරගහකන්ද කළු ගඟ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉදි කරනු ලබන ප්‍රධාන ජලාශය ඉදි කිරීම හේතුවෙන් ඉඩම් අහිමි වන්නන් නැවත පදිංචි කිරීම සදහා මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෙඩිකච්චිය, ජයතුගම, එකමුතුගම, කවුඩුළුවැව යන ග්‍රාම නිලධාරී කොට්ඨාස අයත්වන කවුඩුළුවැව වම් ඉවුර ප්‍රදේශයේ සංවර්ධන කටයුතු ආරම්භ කොට ඇත. මේ යටතේ බිසෝපුර නමින් නව උප නගරයක් ඉදි කර ඇති අතර ඒ යටතේ මාර්ග, වාරි මාර්ග, පාසැල්, රෝහල්, ඉදිකෙරෙමින් පවතී. මේ සියළු කරුණු සලකා බැලීමේදී මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සීඝ්‍රයෙන් සංවර්ධනය වෙමින් පවත්නා ප්‍රාදේශීය ලේකමි කොටිඨාසයක් වශයෙන් හැදින්විය හැක.

ඵෛතිහාසික පසුබිම

මැදිරිගිරිය යැයි පැවසූ විට අපගේ සිහියට නැඟෙන්නේ ඓතිහාසික මැදිරිගිරිය වටදාගෙයත් කවුඩුල්ල වැවත් කේන්ද්‍ර කොටගත් අපගේ පැරණි ශිෂ්ඨාචාරය වන වැවයි දාගැබයි ගමයි පන්සලයි යන්න තේමා කොට ගත් ගම්මානවල අසිරියයි. තෙරක් නොපෙනෙන වෙල්යායන් වලින් හමා එන මදනලයි. මැදිරිගිරියේ ඉතිහාසය ක්‍රිස්තු පූර්ව යුගය දක්වා දිවෙන බව මැදිරිගිරිය වටදාගෙයි බිමෙන් හමු වී ඇති ගඩොල්වල ඇති බ්‍රාහ්මී අක්ෂර වලින් ද වටදාගෙයි ඇති මුරගල්, කොරවක් ගල්, සඳකඩ පහන, සිරිපා ලාංචනය ආදියෙන් ද තහවුරු වේ. නමුදු මේවා අප වංශකතාවල සදහන් නොවීම මැදිරිගිරියේ අපගේ පමණක් නොව ශ්‍රී ලාංකිකයන් වන අප සැමගේ අවාසනාවකි.

පොළොන්නරුව දිස්ත්‍රීක්කයේ මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඓතිහාසික මැදිරිගිරිය වටදාගෙය මැදිරිගිරිය නගරයේ සිට කිලෝමීටරයක පමණ දුරින් පිහිටි රමණීය භූමියක පිහිටා ඇත. වන අරණ තුලින් මතුව ගල්තලා හිස මුදුනක පිහිටා තිබීමත්, උදාර පඩි පෙළත් ප්‍රතාපවත් ගල් කුළුණුත් වෙනත් තිසිම වටදාගෙයකින් දැකගත නොහැකි වීමත් නරඹන්නාගේ සිත ඇද බැඳ ගත හැකි ආකර්ෂණයක් ගැබ්ව පැවතීමත් මෙහි ඇති සුවිශේෂත්වයයි. එබැවින් මැදිරිගිරිය වටදාගෙය ශ්‍රී ලංකාවේ හමු වන වෙනත් වටදාගෙවල් අතරින් මහත් ජනාදරයට පත් වු ස්ථානයකි.

මැදිරිගිරිය ගැන මුල් වරට මහා වංශයෙහි සඳහන් වන්නේ කනිට්ඨතිස්ස රජ සමයේදීය (ක්‍රි:ව:167 - 186). මෙම රජු විසින් එවකට මෙහි පැවති ආරාමයට උපෝසථඝරයක් (පොහෝ ගෙයක්) ඉදි කොට පුජා කළ බව සඳහන් වේ. ඉන් පසු ක්‍රි:ව: 7 වන ශත වර්ෂයේදී පමණ 4 වන අග්‍රබෝධි රජුගේ පාලන සමයේ (ක්‍රි:ව:667 - 685) මලයරාජ නැමැති පාලකයෙකු විසින් මෙහි දාගැබ වෙනුවෙන් දාගෙයක් කරවූ බව මහාවංශයේ දැක්වේ. සෙනරත් පරණවිතාන මහතා කල කැනීම්වලට අනුව මෙය හතරැස් මළුවක් මත ගොඩනැගුණු ස්ථූපයක් බව සොයා ගෙන ඇත. වර්තමානයේ දැකිය හැක්කේ 4 වන අග්‍රබෝධි රජුගේ පාලන සමයේ (ක්‍රි:ව:667 - 685) පැරණි හතරැස් මළුව මත ඉදි කළ වටදාගෙය වීමට පුළුවන. දෙවන සේන රජුගේ රාජ්‍ය පාලන සමයේදී (ක්‍රි:ව:855 - 887) මෙම වටදාගෙය සඳහා ගම්වරක් පූජා කළ බව සඳහන් වේ. මේ අනුව එකල ද මෙම ප්‍රදේශය මහජනයාගේ ගෞරවාදරයට පත් වී තිබූ වටිනා ස්ථානයක් බව සැලකිය හැකිය. මැදිරිගිරිය වටදාගෙය සිංහල ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ ගෘහ නිර්මාණ ශිල්පයේ උසස් නිර්මාණයක් ලෙස දැක්විය හැකිය. මහා විජයබාහු රජු (ක්‍රි:ව:1055 - 1110) මහා පරාක්‍රමබාහු රජු (ක්‍රි:ව:1153 - 1186) යන රජවරුන් විසින් මැදිරිගිරිය වටදාගෙය වරින් වර ප්‍රතිසංස්කරණය කර ඇති බව පෙනේ. පැවති වටදාගෙයි වෙනසක් නොවූ බව පැරණි සඳකඩ පහන්, මුරගල්, සිරිපතුල් ගල්, කොරවක් ගල් ආදිය එලෙසම පැවතීමෙන් පෙනේ.

ක්‍රි:ව:1215 - 1236) දක්වා පැවති මාඝගේ කෲර පාලනය දරා ගත නොහැකි ජනතාව ප්‍රදේශයෙන් පලා ගොස් ඇත. මැදිරිගිරිය වටදාගෙය ඇතුළු විහාර ආරාම විනාශ කොට ඇත්තේ ද මේ සමයේදීයි. රාජධානියේ පිරිහීමත් සමඟ මෙම ප්‍රදේශය ඝන වනාන්තරයෙන් වැසී ගිය අතර ක්‍රි:ව:1897 දී එච්.සී.පී. බෙල් මහතා විසින් මෙම ප්‍රදේශයට පැමිණ තැන තැන තිබූ ගල් කුළුණු, බුද්ධ ප්‍රතිමා ගල් පඩි ආදිය ඡායා රූප ගත කොට එය නැවත ප්‍රතිසංස්කරණය කිරීමට වෑයම් කොට ඇත. ඵෛතිහාසික මැදිරිගිරිය විහාර භූමිය පුරා විද්‍යාත්මක කටයුතු සඳහා වෙන් කළ භූමියක් වශයෙන් නම් කරන ලද්දේ 1934 දී ය. 1939 දී එය පුරාවිද්‍යාත්මක වැඩ බිමක් ලෙස නම් කිරීමෙන් අනතුරුව ඒ සඳහා අක්කර 600 ක් පමණ වෙන් කර ඇත. කැණීම් ආරම්භ කරන ලද්දේ 1941 දී පමණය. සංරක්ෂණ කටයුතු ආරම්භ කර ඇති සමයේ විවිධ දුෂ්කරතාවලට ලක් වී ඇතත් එම කටයුතු දිගටම කර ගෙන ගොස් ඇති බව සඳහන් වේ. 1945 දී මැදිරිගිරිය වටදාගෙයි සම්පූර්ණ දර්ශණයක් ලබා ගත හැකි පරිදි සංරක්ෂණය කර එය ජාතියට පැවරීමට හැකි වීමේ ගෞරවය සෙනරත් පරණවිතාන මහතාට හිමිවේ.

News & Events

Scroll To Top